ගල්ඔය මිටියාවතේ බුදුන් වැඩිය ගලට ගියෙමු

-
අම්පාර දිස්ත්‍රික්කයේ, ගල්ඔය මිටියාවතේ පිහිටි බුද්ධංගල ආරණ්‍ය සේනාසනය ඓතිහාසික වශයෙන් වැදගත් වූත් සුන්දර වූත් සංචාරක ගමනාන්තයක්. 
බුද්ධංගල කියන නම හැදුන විදිය ගැන මත දෙකක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථාවේ මේ ගල්තලාවටත් වැඩම කළා කියන එක. ඉතින් බුදුන් වැඩිය ගල බුද්ධංගල වුණා කියලා තමා කියන්නේ. අනෙක් මතය තමා ගල්තලාව මත ඉදි කර තිබෙන බුදු බිළිම වහන්සේලා නිසා නම හැදුනාය කියන එක. මේවා සේරම ජනප්‍රවාද.

අතීතයේ රුහුණු පුරයට තිබූ එකම වටදාගෙය තිබිලා තියෙන්නේ මේ බුද්ධංගල ගල්තලාවේ. බුදුරජාණන් වහන්සේගේ හා අග්‍රශාවක වහන්සේ දෙනමගේ ධාතුන් වහන්සේලා, සාංචි ස්තූපයේ ආකාරයට හදාපු දඹරන් කරඬුවක තැන්පත් කරලා මේ වටදාගෙහි නිදන් කරලා තියෙනවා.

කාළයත් සමග මේ වටදාගෙය ගරා වැටෙනවා, මහාචාර්ය සෙනරත්පරණවිතාන මහත්මයා කැණීම් කරලා අර කරඬුවයි ධාතුන් වහන්සේලයි සොයා ගන්නවා. බොහෝ රහතන්වහන්සේලා වැඩ සිටිය බුද්ධංගල ආරණ්‍යයට බොහෝ රජ දරුවන්ගේ අනුග්‍රහය ලැබුණ බවට ගල්ලෙන් වල ඇති ශිලා ලිපි වලින් සනාථ කරනවා. පසුකාලීනව ජනශූන්‍ය වන මේ ප්‍රදේශය ආපහු හොයා ගෙන නැවත ගොඩනගන්නේ බුද්ධංගල ලොකු හාමුදුරුවෝ කළුතර ධම්මානන්ද හිමි සහ බටයායේ ආරියවංශ හිමිවරුන් විසින්. ඒ වගේමයි අද දකින්න තියෙන දාගැබ විවෘත කරලා තියෙන්නේ 1974 දී විලියම් ගොපල්ලව මහත්මයා. ඉතිහාස කතාව එහෙමයි. ආරණය සේනාසනය අවට වන පියසේ වල් අලි සුලභව ගැවසෙනවා. බුද්ධංගල ගැන කියවෙච්ච අනික් ලිපි වල ඔවුන්ගෙන් කරදර නෑ කියලා කිව්වත් අපිටනං දැන ගන්න ලැබුනේ අලියා ටිකක් චණ්ඩියෙක් කියලා. අපි ගිය දවසෙත් පුංචි කලබලයකුත් උනා. හොඳම වෙලාව උදේ වෙලාව.



Post a Comment

0 Comments