සීගිරිය ලස්සනට දකින්න පිදුරංගලට එන්න

සීගිරි කඳු පංතියේ එක් අන්තයක්, රජමහා විහාරයක්, සීගිරි අප්සරාවෝ මල් අරගෙන වඳින්න ගිය සිද්ධස්ථානය, දැන් පැහැදිලීනේ, පිදුරංගල රජමහා විහාරයේ තමයි අද අපේ සංචාරය.





ජනප්‍රවාද වලට අනුව සීගිරි කාශ්‍යප රජතුමා විසින් පිදුරංගල විහාරය කරවා පූජා කල බව සඳහන්, ආරාමය කරවා පිදූ නිසා පිදූ අරංගල පස්සේ පිදුරංගල වුණ බවටයි විශ්වාසය. කාශ්‍යප රජතුමා තම දියණියන් දෙදෙනාගේ නමින් ඉදිකළ බෝධි උත්පලවන්නා විහාරය අද පිදුරංගල ලෙසින් හඳුන්වන බව ජනප්‍රවාද වල සඳහන්. නමුත් පිදුරංගල ඉතිහාසය, සීගිරි කාශ්‍යප රාජධානියේ ඉතිහාසයටත් එහාට දිව යනවා. සීගිරි කාශ්‍යප රජතුමා තම රාජධානිය පිහිටවා ගැනීමටත් පෙර භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා පිදුරංගල වන පියස පරිහරණය කල බවට සාධක හමු වෙලා තියනවා.
1950 දී විතර පිදුරංගල ආශ්‍රීතව කැනීම් කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට විශේෂ දාගැබක් හමුවෙනවා. එතුල ඉතාමත් ක්‍රමාණුකූලව සකස් කොට තැන්පත් කරපු ධාතු ගර්භයක් තිබිලා තියෙනවා. මෙතෙක් ඒ වාගේ ධාතු ගර්භයක් සහිත දාගැබක් ලංකාවේ කිසිම තැනකින් හමුවෙලා නෑ. ඒසේම උපෝසථාගාරයක් යැයි සළකන ගොඩනැගිල්ලක නටඹුන් වූ ගල් කනු 45ක් දැක ගන්න පුළුවන්. ගල් පඩිපෙල නැගලා ඉහලට යද්දී සංඝාවාසයක නටඹුන් දැක ගන්න පුළුවන්, ඒ අසළම ක්‍රි.ව. 6 වන සියවසට අයත් සෙල්ලිපියක් හමු වෙනවා. එහි පෙදරේරු කර්මාන්තයේ නියුතු දලගණයුනක විසින් වී අමුණක් සහා කහවණු ප්‍රධානයක් කල බව සඳහන්.


මාදුරුඔය දානිගල කන්ද නැගපු අය දකින්න ඇති සැතපෙන පිළිමවහන්සේ සහ උන්වහන්සේ විනාශ කර ඇති ආකාරය. ඒ ආකාරයේම පිළිම වහන්සේ නමක් මේ සෙල්ලිපිය ආසන්නයේ වැඩ සිටිනවා. දානිගල පිළිමවහන්සේ වගේම මෙම පිළිමවහන්සේත් රජවරු හත්දෙනෙක් ප්‍රතිසංස්කරණය කරලා තියනෙවා. බදාම තට්ටු හතක් දැක ගන්න පුළුවන්. ඒ වගේම නිධන් හොරුත් මේ පිළිමය අතැරලා නෑ. 1978 කාලේ නිධන් හොරුන් මේ පිළිමයත් විනාශ කරනවා. ඒකයි මං කිව්වේ දානිගල පිළිමවහන්සේ වගේමයි කියලා.
කොහොම වෙතත් 2003 වකවානුවේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විනාශ වෙච්ච පිළිමවහන්සේ පෙර තිබුන තත්වයට ප්‍රතිසංස්කරණය කරනවා. නිධන් හැරීමට ගමේ 4දෙනෙකුත් සම්බන්ධ වෙලා තියෙනවා කියලා තමා ගම්වැසියන් කියන්නේ, ඒකට සම්බන්ධ වෙච්ච අයටයි පවුල්වල අයයි නන්නත්තාර වෙලා ගියා කියලා තමා එයාලා කියන්නේ. ඒක එහෙම වෙන්න එපැයි.
ඉතින් මේ කන්ද නගින අතරතුර විමසිල්ලෙන් ගියොත් කටුසු විශේෂ, උරග විශේෂ එහෙමත් දැක බලා ගන්න පුළුවන්. ඔයා යන්නේ උන්ට අයත් සීමාවේ නිසා උන්ට කරදරයක් නොකර ඉන්නත් අමතක කරන්න එපා. කන්ද නගින අතර පාවිච්චියට ගෙනියන වතුර, බීම බෝතල් බිස්කට් කවර කාලා බීලා ඉවර වෙලා හිස් බෝතල් කවර ආපහු පහලට ගේන්නත් අමතක කරන්න එපා. ආරංචිය හැටියට සත්තුන්ගේ පොලිතීන් පාවිච්යක් නෑ. 



ඉර පායන වෙලාවට හරි ඉර බහින වෙලාවට හරි කඳු මුදුනට යනවානම් ගමන අර්ථවත් වෙයි. අනික් කාල වල කන්ද නගින්න බාධාවක් නැත්ත කළු ගල් තලාවක් නිසා අව්වෙන් බාධා වෙන්න තියන ඉඩ වැඩී. පන්සලක් හරහා ගමන ආරම්භ කරන්න තියෙන නිසා ආගමික ස්ථානයකට සුදුසු ඇදුමකින් සැරසෙන එක සුදුසුයි, නැත්තන් රෙදිකඩක් පොරොවලා තමයි දොරෙන් ඇතුලට ගන්නේ.
යන්න, සංවර වන්න, විඳින්න පරිසරය ජීවිතය 


Post a Comment

0 Comments